WhatsApp වීඩියෝ ඇමතුම් භාවිතා කරමින් සිදුකරන නවතම මුදල් වංචා කිරීමේ සහ කප්පම් ගැනීමේ ජාවාරමක් පිළිබඳව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් මහජනතාව වෙත දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. මෙම වංචනික ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් සිදුවන්නේ නොදන්නා හෝ සැක සහිත දුරකථන අංකවලින් ලබාගන්නා වීඩියෝ ඇමතුම් හරහා බව හඳුනාගෙන ඇත. මෙහිදී වංචාකරුවන් විසින් WhatsApp වීඩියෝ ඇමතුමක් ලබාගෙන අසභ්‍ය හෝ නිරුවත් දර්ශන පෙන්වන අතර, ඔබ එම ඇමතුමට පිළිතුරු දුන් සැණින් ඔබගේ මුහුණ සහ එම දර්ශන සහිතව වීඩියෝවක් පටිගත කර ගනු ලබයි. පසුව එම වීඩියෝව සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කරමින් විශාල මුදලක් කප්පම් ලෙස ඉල්ලා බලපෑම් කිරීම මෙම ජාවාරමේ ස්වභාවයයි.මෙවැනි තර්ජනවලට හෝ කප්පම් ඉල්ලීම්වලට කිසිදු විටෙක යටත් නොවන ලෙසත්, වංචාකරුවන් ඉල්ලන මුදල් ලබා නොදෙන ලෙසත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවගෙන් ඉල්ලා සිටී. නාඳුනන අංකවලින් එන වීඩියෝ ඇමතුම්වලට පිළිතුරු දීමෙන් වළකින ලෙසත්, එවැනි සිදුවීමකට මුහුණ දීමට සිදුවුවහොත් වහාම අදාළ දුරකථන අංකය ‘Report’ කර ‘Block’ කරන ලෙසත් ඔවුන් උපදෙස් දෙයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර සහාය ලබා ගැනීමට සහ පැමිණිලි කිරීමට ශ්‍රී ලංකා පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත යොමුවන ලෙස මහජනතාවට වැඩිදුරටත් දැනුම් දී ඇත.














