ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නැවතත් ලෝක කුසලාන ජයග්‍රහණ අත්කර ගත හැකි ඉහළ මට්ටමකට ගෙන එන බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අවධාරණය කරයි. ජනතාවට නැවතත් ක්‍රිකට් වසන්තයක් උදා කර දීමට හැකි වනු ඇතැයි තමන් දැඩිව විශ්වාස කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. මෙම ගමනේදී ජාතිය, ආගම හෝ දේශපාලනය කිසිසේත්ම නොසලකන බවත්, රජයට අවශ්‍ය වන්නේ රට ගොඩනැඟිය හැකි දක්ෂ පුද්ගලයන් පමණක් බවත් හෙතෙම පැවසීය.
ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කරන ලද එරාන් වික්‍රමරත්න මහතා දක්ෂ පරිපාලකයෙකු මෙන්ම දක්ෂ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු බවත්, ඒ මහතා කෙරෙහි තමන් පූර්ණ විශ්වාසය තබා ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය. කමිටුවේ සාමාජිකයන් ලෙස පත් කරන ලද කුමාර සංගක්කාර සහ රොෂාන් මහනාම යන මහත්වරුන්ට මෙතෙක් පත්වීමේ ලිපි ලබා දීමට නොහැකි වූයේ ඔවුන් විදෙස්ගතව සිටීම හේතුවෙන් බව අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය. ඔවුන් දිවයිනට පැමිණි වහාම අදාළ පත්වීම් ලිපි භාර දී කමිටුවේ වැඩකටයුතු කඩිනම් කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














