අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාවක් මත අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගෙන නිදහස් කිරීම සඳහා රුපියල් 200,000ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ සිද්ධියකට සම්බන්ධව පලාගොස් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පෑලියගොඩ පොලිසියේ දූෂණ මර්ධන අංශයේ සේවය කළ නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව මෙම චෝදනාව එල්ල වී තිබූ අතර, ඉන් එක් අයෙකු සිද්ධියට අදාළව මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණි. එදින එම ස්ථානයෙන් පලාගිය අනෙක් සැකකරු වන කිවුල්වදිනිය හේරත් මුදියන්සේලාගේ දිනූෂ ශෙහාන් බණ්ඩාර කිවුල්වදිනිය නැමැති පොලිස් කොස්තාපල්වරයා පසුගිය 2026.05.04 දින පෙරවරු 9.40ට පමණ අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, 2026.05.12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.
















