අනුරාධපුර පුදබිමේ පිහිටි විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක් ඇතුළු තිදෙනෙකු විසින් 15 හැවිරිදි බාලවයස්කාර දැරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළව විමර්ශන වාර්තා ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු චිත්‍රමරත්න මහතා (04) දින නියෝග කළේය. නඩුවට අදාළ නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂක වෙත යොමු කර එහි වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්, විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන ලෙසත් ගම්පහ කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට මෙහිදී නියම විය.
සිද්ධියට අදාළ විමර්ශන සඳහා සහාකාර පොලිස් අධිකාරිවරයෙකු ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් අනුරාධපුරයට ගොස් චෝදනා ලැබ සිටින විහාරාධිපති හිමියන්ගෙන් පැය තුනකට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. ස්ථානීය පරීක්ෂණ සිදු කිරීම සඳහා වින්දිත දැරිය ද අනුරාධපුරයේ අදාළ විහාරස්ථානය වෙත රැගෙන ගොස් ඇත.
ප්‍රශ්න කිරීම්වලදී දැරිය පවසා ඇත්තේ තමන් මුලින්ම අපයෝජනයට ලක් කළේ මෙම විහාරාධිපති හිමිනම බවයි. පසුව ඇයගේ පෙම්වතා සහ ඥාතියෙකු විසින් ද ඇයව අපයෝජනය කර ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ දැරියගේ මවුපියන් ද අදාළ විහාරාධිපති හිමියන්ගෙන් වරින් වර විශාල මුදලක් ලබාගෙන ඇති බවයි. දැරිය මේ වන විට විශේෂ ළමා නිවාසයක ආරක්ෂාව යටතේ රඳවා සිටියි.














