වසර ගණනාවක ප්‍රායෝගික පළපුරුද්ද තිබුණද නිල රාජ්‍ය සහතිකයක් නොමැතිව සිටි දක්ෂ ශිල්පීන් 1500 දෙනෙකු වෙනුවෙන් සංවිධානය කළ මෙරට විශාලතම NVQ සහතිකපත් ප්‍රදානෝත්සවය කොළඹදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) විසින් සංවිධානය කළ මෙම උත්සවය නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, නයිටා සභාපති අබ්දූල් සත්තාර් සහ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්. එම්. එස්. විජේසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.
මෙහිදී පෙර පාසල් ගුරු සහ සාත්තු සේවක, ග්‍රැෆික් නිර්මාණ සහ ඡායාරූප ශිල්පී, ඖෂධ තාක්ෂණික සහ ප්‍රථමාධාර, ගිනිනිවන නිලධාරී සහ ලිපිකරු, මෙන්ම පේස්ට්‍රි, බේකරි, සූපවේදී සහ ආහාරපාන සැලසුම් ශිල්පී වැනි පුළුල් පරාසයක ක්ෂේත්‍ර නියෝජනය කරන ශිල්පීන් සඳහා NVQ සහතික පිරිනැමිණි. ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණු ඉතිහාසයේ ප්‍රථම වතාවට නිය අලංකරණ ශිල්පය (Nail Artistry) සඳහා නිපුණතා සහතික පිරිනැමීම මෙවර උත්සවයේ විශේෂත්වයක් විය.














