මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සම්බන්ධ නඩුව ලබන 08 වනදා සිට සතිපතා විභාග කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ. මීට පෙර මෙම නඩුව විභාග කළ විනිසුරු මඩුල්ලේ එක් විනිසුරුවරයෙකු විශ්‍රාම යාම සහ තවත් විනිසුරුවරයෙකුගේ වැඩ තහනම් වීම හේතුවෙන් නඩු විභාගය මාස කිහිපයක් අඩාල වී පැවතිණි.
ඒ අනුව නයනා සෙනෙවිරත්න, නලින් හේවාවසම් සහ ලක්මාලි හේවාවසම් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත නව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කර ඇත. මෙම නඩුව ඊයේ දින විභාගයට ගැනුණේ කොළඹ විජේරාම මාවතේ පිහිටි, හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පදිංචිව සිටි නිල නිවසේ ස්ථාපිත කර තිබෙන අධිකරණයකදී වීම සුවිශේෂී කරුණකි.
නඩුව සතිපතා විභාග කිරීමට නියම කළ විනිසුරු මඩුල්ල, මීළඟ නඩු දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සාක්ෂිකරුවන් දෙදෙනෙකුට සිතාසි නිකුත් කිරීමට ද නියෝග කරන ලදී.














