2025 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට බලපෑ ‘දිට්වා’ (Ditwah) සුළි කුණාටුවෙන් දැඩි ලෙස පීඩාවට පත් නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල එළවළු ගොවීන් යළි නඟා සිටුවීම සඳහා ඕස්ට්‍රේලියානු රජය ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 2ක (ඇමෙරිකානු ඩොලර් මිලියන 1.4ක) ආධාර වැඩසටහනක් දියත් කර තිබේ. මෙම ව්‍යාපෘතිය එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරන අතර, ඊට අදාළ ගිවිසුමට අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත් මහතා ඉදිරියේ අත්සන් තැබිණි.
මාස 12ක් පුරා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මඟින් කුඩා පරිමාණ ගොවීන් 2,400කට අධික පිරිසකට සෘජු ප්‍රතිලාභ හිමි වේ. මෙහිදී කාන්තා ගොවීන් සවිබල ගැන්වීම සහ ආබාධ සහිත පුද්ගලයන්ට සහාය වීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරේ. බෝංචි, කැරට්, ලීක්ස් සහ අර්තාපල් වැනි වගා සඳහා අවශ්‍ය දේශීය බීජ පද්ධති ශක්තිමත් කිරීම මෙහි ප්‍රමුඛ කාර්යයකි.
මෙම වැඩසටහන යටතේ නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල නවීන පහසුකම් සහිත එළවළු තවාන් හයක් ස්ථාපිත කෙරෙන අතර දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (CSGAP) හඳුන්වා දීමට නියමිතය. එසේම කුඩා පරිමාණ යන්ත්‍ර සූත්‍ර, උසස් තත්ත්වයේ බීජ සහ ගොවි පුහුණු වැඩසටහන් ලබා දීම මෙන්ම කාන්තාවන් විසින් මෙහෙයවන පැළ සැපයුම් තවාන් යළි පිහිටුවීම ද සිදු කෙරේ. මෙමඟින් ආනයනික බීජ මත යැපීම අවම කරමින්, අනාගතයේදී ඇති විය හැකි ස්වාභාවික ව්‍යසනයන්ට ඔරොත්තු දිය හැකි ස්වයංව යැපෙන කෘෂිකාර්මික පද්ධතියක් ගොඩනැගීමට අපේක්ෂා කෙරේ.














