මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව විශිෂ්ට හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් බවත්, එහි නිරත සෞඛ්‍ය වෘත්තිකයන් දැඩි කැපවීමෙන් කටයුතු කරන බවත් රුසියානු සෞඛ්‍ය ඇමැති මිහායිල් මුරාෂ්කෝ මහතා පැවසීය. මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු නියෝජිත කණ්ඩායම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවීමෙන් අනතුරුවය.
එම හමුවෙන් පසු රුසියානු නියෝජිත පිරිස ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශයේ හදිසි ප්‍රතිකාර ඒකකය, හදිසි අනතුරු අංශය සහ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය නිරීක්ෂණය කළහ. මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වූයේ මෙරට සෞඛ්‍ය ආයතන නවීන තාක්ෂණයෙන් සවිබලගැන්වීම පිළිබඳව කරුණු සොයා බැලීම සහ අන්‍යෝන්‍ය අවබෝධය ශක්තිමත් කර ගැනීමයි.
මෙහිදී දෙරටේ සෞඛ්‍ය අංශවල කාර්ය මණ්ඩලය සහ විශේෂඥ වෛද්‍යවරුන් සමඟ තාක්ෂණික කරුණු සම්බන්ධයෙන් දීර්ඝ කතාබහක නිරත වූ අතර, දැනුම හුවමාරු කර ගැනීමට මෙම සංචාරය ඉවහල් වන බව ඇමැතිවරු දෙපළම සඳහන් කළහ. දෙරට අතර මිත්‍රත්වය වර්ධනය කර ගැනීමේ අරමුණින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරු කර ගැනීමක් ද සිදු විය.














