වත්මන් සමාජ ක්‍රමය සහ පාලනය පිළිබඳව තමන් දැඩි ලෙස කලකිරීමට පත්ව ඇති බවත්, මින් ඉදිරියට යූටියුබ් (YouTube) වෙත වීඩියෝ මුදාහැරීම නතර කරන බවත් රාජාංගනයේ සද්ධාරතන හිමියෝ පවසති. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ සිය යූටියුබ් නාලිකාව හරහා විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
මිනිසුන් රැවටීමට කටයුතු කළහොත් රාජපක්ෂවරුන්ට සිදු වූ දේම වත්මන් ආණ්ඩුවට ද සිදුවනු ඇති බව උන්වහන්සේ අනතුරු අඟවති.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටට ආදරය කරන බව පෙනුනද, රාජ්‍ය නිලධාරීන් තවමත් දූෂිත බවත් ජනාධිපතිවරයාට තනියම රටක් සෑදිය නොහැකි බවත් උන්වහන්සේ පෙන්වා දෙති.
රටේ නීතිය ක්‍රියාත්මක වීමේදී පවතින අසමානතාවය පිළිබඳව ද උන්වහන්සේ දැඩි විවේචනයක් එල්ල කළහ.
තමන්ට එරෙහිව පවතින නඩු කටයුතු අවසන් වූ වහාම ශාසනයෙන් ද සමුගැනීමට තීරණය කර ඇති බව උන්වහන්සේ මෙහිදී ප්‍රකාශ කළහ.
තමන්ට එල්ල වන නින්දා අපහාස, නඩු හබ සහ විවිධ පීඩාවන් හේතුවෙන් මෙම තීරණය ගත් බව උන්වහන්සේ පවසති. තමන් හිරේ දැමීම, මඩ ගැසීම සහ යූටියුබ් උපකරණ විනාශ කිරීම වැනි දෑ තුළින් තමන්ට උපරිම වද දී ඇති බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.
තමන් මෙතෙක් ආ ගමනේදී සිදු වූ අඩුපාඩු වෙතොත් සමාව ඉල්ලා සිටින උන්වහන්සේ, මින් ඉදිරියට කිසිදු වීඩියෝවක් පළ නොකරන බව අවධාරණය කළහ.














