චීන රජයට අත්‍යවශ්‍යව සිටි චීන ජාතිකයන් 37 දෙනෙකුගෙන් යුතු පිරිසක් මීගමුව ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ව්‍යාපාරික වීසා බලපත්‍ර යටතේ මෙරටට පැමිණ සිටි මොවුන් පිළිබඳව ලැබුණු බුද්ධි තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් 06 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 31 දෙනෙකු සිටි අතර, ඔවුන් වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා තිබුණි. මොවුන් චීන රජයට අත්‍යවශ්‍යව සිටි පුද්ගලයන් (Wanted Persons) බව එරට රජය විසින් තහවුරු කිරීමෙන් අනතුරුව ඔවුන් යළි චීනයට රැගෙන යාමට පියවර ගැනුණි.
මොවුන් රැගෙන යාම සඳහා චීන ආගමන විගමන නිලධාරීන් 11 දෙනෙකු සහ වෛද්‍යවරයෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විශේෂයෙන් මෙරටට පැමිණියහ. පොලිස් විශේෂ කාර්ය බළකායේ දැඩි ආරක්ෂාව යටතේ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ මෙම පිරිස චයිනා ඊස්ටන් ගුවන් යානයකින් චීනයේ කුංමිං නුවර බලා පිටුවහල් කර තිබේ.














