ලොව ප්‍රමුඛතම මතක චිප (memory chip) නිෂ්පාදකයෙකු වන දකුණු කොරියාවේ සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් සමාගමේ වෙළෙඳපොළ වටිනාකම අද (06) ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියනයක සීමාව පසු කිරීමට සමත් විය. කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය සඳහා භාවිත වන චිප් සඳහා ගෝලීය වශයෙන් ඉහළ ගිය ඉල්ලුම හේතුවෙන් සමාගමේ කොටස් මිල ගණන් 12%ක දැවැන්ත වර්ධනයක් වාර්තා කිරීමත් සමඟ මෙම ඓතිහාසික සන්ධිස්ථානය සටහන් විය.
තායිවානයේ TSMC සමාගමෙන් පසු ආසියානු කලාපයේ සමාගමක් මෙම දැවැන්ත මූල්‍ය සීමාව පසු කළ දෙවන අවස්ථාව මෙයයි. මෙම වර්ධනයත් සමඟ දකුණු කොරියාවේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළ දර්ශකය වන KOSPI දර්ශකය ද 7,000 සීමාව ඉක්මවා යමින් වාර්තාගත ඉහළ යාමක් පෙන්නුම් කළේය. සැම්සුන් සමාගම පසුගියදා සිය වාර්තාගත ඉහළම කාර්තුමය ලාභය ද ප්‍රකාශයට පත් කරන ලදී.
කෘත්‍රිම බුද්ධි යටිතල පහසුකම් ගොඩනැඟීමේ ක්‍රියාවලියේදී සැම්සුන් සමාගම ඉදිරියටත් දැඩි කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඒ අනුව දකුණු කොරියාව ගෝලීය කෘත්‍රිම බුද්ධි බලවතුන් අතර ඉදිරියට පැමිණීමේ අරමුණින් කටයුතු කරන අවස්ථාවක මෙම ජයග්‍රහණය ඉතා වැදගත් වේ.














