තමිල්නාඩුවේ නව මහ ඇමති ලෙස දිවුරුම් දීමට නියමිත සුපිරි නළු තලපති විජේ වෙත ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොන්ඩමන් මහතා සිය සුබ පැතුම් එක් කර තිබේ. අද (06) පැවති පාර්ලිමේන්තු සභාවාරය අමතමින් ඔහු මෙම සුබ පැතුම් එක් කළේය.
තමිල්නාඩුවේ නව මහ ඇමතිවරයා ලෙස පත්වන විජේ මහතාට සුබ පතන අතරම, දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතාවලට බලපාන කරුණු කිහිපයක් කෙරෙහි ඔහුගේ අවධානය යොමු කරන ලදී. විශේෂයෙන්ම සංවේදී මාතෘකාවක් වන කච්චතිව් දූපත සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙසත්, වසර ගණනාවක සිට පවතින ධීවර ගැටලුව විසඳීමට වැඩි අවධානයක් යොමු කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය. ධීවර ගැටලුව යනු තමිල්නාඩු දෙමළ ජනතාව සහ ලංකාවේ උතුරු නැගෙනහිර දෙමළ ධීවරයන් අතර පවතින අර්බුදයක් බව ඔහු පෙන්වා දුන්නේය.
තවද, තමිල්නාඩුවේ සරණාගත කඳවුරුවල ජීවත් වන ලාංකීය දෙමළ ජනතාවගේ ප්‍රශ්න සහ වසර 200කට අධික කාලයක් මෙරට වෙසෙන මලෛයගම් ජනතාවගේ අනන්‍යතාව පිළිබඳව ද තමිල්නාඩු රජයේ අවධානය යොමු කරමින් නව මිත්‍රත්වයක් හරහා විසඳුම් ලබාගත හැකි වනු ඇතැයි ජීවන් තොන්ඩමන් මහතා විශ්වාසය පළ කළේය.














