බටහිර ආසියානු කලාපයේ මෑත කාලීනව උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය සිය දැඩි කනස්සල්ල පළ කර සිටී. විශේෂයෙන්ම කලාපීය ස්ථාවරත්වයට සහ සාමය ඇති කිරීමේ ප්‍රයත්නවලට බාධා පමුණුවමින් වැදගත් බලශක්ති මධ්‍යස්ථාන සහ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් එල්ල වන ප්‍රහාර සම්බන්ධයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය අවධානය යොමු කර ඇත. ගෝලීය සැපයුම් දාමයන්හි ආරක්ෂාව සහ සිවිල් වැසියන්ගේ සුභසාධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව නිරන්තරයෙන් පෙනී සිටින බව එම නිවේදනයේ අවධාරණය කෙරේ.
මැදපෙරදිග කලාපය තුළ විශාල ශ්‍රී ලාංකික ශ්‍රමික පිරිසක් ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවක් වෙසෙන බැවින් ඔවුන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කිරීම ශ්‍රී ලංකාවට අතිශයින්ම වැදගත් කරුණක් බව අමාත්‍යාංශය පෙන්වා දෙයි. ඕනෑම ගැටුම්කාරී තත්ත්වයක් උත්සන්න වීම වැළැක්වීම සඳහා සියලුම පාර්ශ්වයන් උපරිම සංයමයකින් කටයුතු කළ යුතු බවත්, පවතින ගැටලු විසඳා ගැනීම සඳහා ඵලදායී සංවාදයක නිරත විය යුතු බවත් රජය ඉල්ලා සිටී.
මෙම අසන්න තත්ත්වය හමුවේ කලාපීය සාමය ආරක්ෂා කර ගැනීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවයේ අවශ්‍යතාවය ද ශ්‍රී ලංකා රජය අවධාරණය කර ඇත. සිවිල් යටිතල පහසුකම්වලට සිදුවන හානි අවම කර ගනිමින් කලාපයේ ස්ථාවරත්වය ඇති කිරීමට සියලු දෙනා කැපවිය යුතු බව අමාත්‍යාංශ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.














