පළාත් සභා මැතිවරණය පැවැත්වීම ප්‍රමාද කිරීම සඳහා රජය විවිධ “තාක්ෂණික හේතු” සහ කමිටු පත්කිරීම් මුවාවෙන් කටයුතු කිරීම වහාම නැවැත්විය යුතු බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් පැපරල් (PAFFREL) සංවිධානය අවධාරණය කරයි. එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වා දෙන්නේ ඇතැම් පළාත්වල මැතිවරණ පවත්වා දැන් වසර 14කට අධික කාලයක් ගතවී ඇති බවයි. විශේෂයෙන්ම නැඟෙනහිර පළාතේ අවසන් වරට මැතිවරණයක් පවත්වා ඇත්තේ 2012 වසරේදී වන අතර ඌව පළාතේ 2014 වසරේ සිට මැතිවරණ පවත්වා නොමැති බැවින් එම පළාත් මහජන නියෝජිතයන්ගෙන් තොරව ආණ්ඩුකාරවරුන්ගේ පාලනය යටතේ පමණක් පවතින බව ඔහු සඳහන් කළේය.
රජය සිය මැතිවරණ ප්‍රකාශය මගින් බලයට පත්ව වසරක් ඇතුළත පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ පවත්වන බවට ලබාදුන් පොරොන්දුව මෙතෙක් ඉටුකර නොමැති බව හෙට්ටිආරච්චි මහතා විවේචනය කරයි. වත්මන් නායකත්වය යටතේ වසර එකහමාරකට අධික කාලයක් ගතවී තිබුණද, මැතිවරණයක් පැවැත්වීමට අදාළ කිසිදු මූලික සූදානමක් හෝ කාලරාමුවක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති වීම බරපතල ගැටලුවක් බව ඔහු පෙන්වා දෙයි. මැතිවරණ ප්‍රමාද කිරීම සඳහා පෙර පැවති රජයන් අනුගමනය කළ “කමිටු ක්‍රමය” සහ “මැතිවරණ ප්‍රතිසංස්කරණ” යන උපායමාර්ගයන්ම වත්මන් රජය ද භාවිත කරන බවට ඔහු චෝදනා කළේය.
ගතවූ වසර 15ක කාලය තුළ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සහ මහජනතාවගේ අදහස් ඇතුළත් මැතිවරණ ප්‍රතිසංස්කරණ වාර්තා රැසක් දැනටමත් රජය සතුව පවතින බව පවසන පැපරල් සංවිධානය, අලුතින් කමිටු පත්කරමින් කාලය නාස්ති නොකර දැනට සකස් කර ඇති කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත යුතු බව පවසයි. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරක්ෂිත කිරීම සඳහා තවදුරටත් ප්‍රමාද නොවී මැතිවරණයට අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස එම සංවිධානය රජයෙන් ඉල්ලා සිටියි.














