ශ්‍රී ලංකාවේ පෞද්ගලික බස් කර්මාන්තය මුහුණ දී ඇති දැඩි මූල්‍ය සහ තාක්ෂණික අර්බුදයට ඇති එකම තිරසාර විසඳුම විද්‍යුත් බස් රථ වෙත සංක්‍රමණය වීම බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. Amcot සංස්ථාව සහ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අතර විද්‍යුත් බස් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා අත්සන් තැබූ අවබෝධතා ගිවිසුමකදී ඔහු පෙන්වා දුන්නේ මෙම ව්‍යාපෘතිය මෙරට පොදු ප්‍රවාහන සේවයේ හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇති බවයි. විශේෂයෙන්ම වැට් බදු ඉහළ යාම සහ අමතර කොටස් මිල ඉහළ යාම නිසා බස් කර්මාන්තය දැඩි පීඩනයකට ලක්ව ඇති පසුබිමක, මෙහෙයුම් පිරිවැය කළමනාකරණය කරගැනීමට මෙය අත්‍යවශ්‍ය පියවරක් බව ඔහු අවධාරණය කළේය.
මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ඉදිරි මාස දෙක ඇතුළත ආසන 32කින් යුත් සුඛෝපභෝගී විද්‍යුත් බස් රථ 100ක් ආනයනය කර නගර ප්‍රවාහන සේවා සඳහා යෙදවීමට සැලසුම් කර ඇති අතර ඒවා සූර්ය බලශක්තියෙන් ආරෝපණය වන බැටරි මගින් ක්‍රියාත්මක වේ. ආරම්භයේදී මෙම බස් රථ හොරණ සහ කොළඹ අතර ධාවනය කිරීමට නියමිත අතර එම මාර්ගය දිගේ ආරෝපණ මධ්‍යස්ථාන 200ක් පමණ ස්ථාපනය කිරීමට කටයුතු යොදා තිබේ. එක් වරක් ආරෝපණය කිරීමෙන් කිලෝමීටර් 350ක් පමණ ධාවනය කළ හැකි මෙම බස් රථ හරහා ඉන්ධන සඳහා වැයවන විශාල මුදලක් ඉතිරි කරගත හැකි බව ද මෙහිදී සඳහන් විය.
එමෙන්ම වත්මන් ඩීසල්වල පවතින සල්ෆර් මට්ටම ඉහළ යාම නිසා නවීන බස් රථවල එන්ජින්වලට සිදුවන හානිය පිළිබඳව ද ගැමුණු විජේරත්න මහතා අනාවරණය කළේය. වසරක් ඇතුළත හොරණ ප්‍රදේශයේ කර්මාන්තශාලාවක් ආරම්භ කර දේශීයව මෙම බස් රථ නිෂ්පාදනය කිරීමට Amcot සංස්ථාව බලාපොරොත්තු වන අතර එමගින් දේශීය අවශ්‍යතාවයෙන් සියයට 30ක් සපුරාලීමටත් අනාගතයේදී යුරෝපීය සහ මැදපෙරදිග වෙළෙඳපොළට අපනයනය කිරීමටත් සැලසුම් කර ඇත. මෙම පරිසර හිතකාමී ව්‍යාපෘතිය මගින් නවීන ගෙවීම් ක්‍රම සහ උසස් ආරක්ෂක පද්ධති ඇතුළත් කරමින් මගීන්ට මෙන්ම බස් හිමියන්ට ද උපරිම පහසුවක් සැලසීමට අපේක්ෂා කෙරේ.














