පිටිගල, හොරන්ගල්ල ප්‍රදේශයේ අද දින ඇති වූ දරුණු ගැටුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබේ. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ හොරන්ගල්ල, තල්ගස්වල ප්‍රදේශයේ පදිංචිව සිටි 61 හැවිරිදි අස්සමුල්ල කංකානම්ගේ සැමි නැමති අවිවාහක පුද්ගලයෙකි. දෙපිරිසක් අතර ඇති වූ මෙම ආරවුල දුරදිග යාමෙන් සිදු වූ පහරදීම් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බව පිටිගල පොලීසිය සඳහන් කරයි.
ගැටුමෙන් බරපතල තුවාල ලැබූ අනෙක් පුද්ගලයන් දෙදෙනා ද එම ප්‍රදේශයේම පදිංචි 30 හැවිරිදි සහ 60 හැවිරිදි වියේ පසුවන්නන් බව හඳුනාගෙන ඇත. ඔවුන් දෙදෙනා මේ වන විට ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවන බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති පිටිගල පොලීසිය, ගැටුමට හේතුව සහ ඊට සම්බන්ධ පිරිස් පිළිබඳව පරීක්ෂණ පවත්වයි.














