අලුතින් මිලදී ගන්නා වාහන ලියාපදිංචි කිරීමේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ පවතින දැඩි ප්‍රමාදය හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇති බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා පවසයි. වාහනයක් ලියාපදිංචි කර ගැනීමට දැනට සති දෙක තුනක කාලයක් බලා සිටීමට සිදුව ඇති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, රජය විසින් හඳුන්වා දීමට පොරොන්දු වූ “ඔන්ලයින්” ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයට සිදු වූයේ කුමක්දැයි පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය.
පෞද්ගලික බස් රථ කර්මාන්තය මුහුණ දී ඇති ගැටලු පිළිබඳව ද අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, වර්තමානය වන විට අධි සුඛෝපභෝගී බස් රථයක මිල රුපියල් ලක්ෂ 500 ඉක්මවා ඇති බැවින් එම පිරිවැය දරාගත නොහැකිව බොහෝ පිරිසක් බස් රථ ධාවනයෙන් ඉවත්ව ඇති බව සඳහන් කළේය. එමෙන්ම අලුතින් මෙම ක්ෂේත්‍රයට පිවිසෙන්නන් සඳහා බැංකුවක මාස හයක් පුරා රුපියල් ලක්ෂ විස්සක ස්ථාවර තැන්පතුවක් පවත්වාගෙන යා යුතු බවට පනවා ඇති කොන්දේසිය හේතුවෙන් විදේශ රැකියා නිමවා මෙරටට පැමිණ ව්‍යාපාර ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින තරුණයන් අධෛර්යයට පත්වන බව ද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.














