ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද දිනයේදීත් කැපී පෙනෙන ලෙස පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය දිනයට සාපේක්ෂව සියයට 2කට ආසන්න ප්‍රතිශතයකින් මිල පහත වැටීමත් සමඟ ප්‍රධාන බොරතෙල් වර්ග කිහිපයකම බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාවට වඩා අඩු අගයක් දක්වා පහත බැස තිබේ. නවතම දත්ත වාර්තාවලට අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 99.43ක් ලෙසත්, WTI වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 93.17ක් ලෙසත් සටහන්ව ඇති අතර මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 96.20ක් දක්වා පහත වැටී ඇත.
මැදපෙරදිග කලාපයේ පවතින දේශපාලන හා යුදමය තත්ත්වයන් මෙම මිල උච්චාවචනයන් කෙරෙහි සෘජුව බලපා ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. විශේෂයෙන්ම යුද ගැටුම් අවසන් කිරීම සඳහා අමෙරිකාව ඉදිරිපත් කළ කරුණු 14කින් යුත් නව අවබෝධතා ගිවිසුම පිළිබඳව ඉරානය සිය අවධානය යොමු කිරීම වෙළෙඳපොළ කෙරෙහි සුබවාදී බලපෑමක් ඇති කර තිබේ. කෙසේ වෙතත්, ඊශ්‍රායලය විසින් බේරූට් අගනුවර ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාර සහ හෝමුස් සමුද්‍රසන්ධියේ නෞකා මුදාගැනීමේ මෙහෙයුම තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණය වැනි කරුණු හමුවේ වුවද තෙල් මිල පහළ යාමේ ප්‍රවණතාව අඛණ්ඩව පවතී.














