සෝල් නුවර ජොග්යේ (Jogye) පන්සලේදී දකුණු කොරියාවේ ප්‍රථම මානවරූපී රොබෝ හිමිනම (Humanoid Robot Monk) නිල වශයෙන් කරළියට පැමිණ තිබේ. බුදුන් වහන්සේගේ උපත සැමරෙන උත්සවයට සමගාමීව මෙම සුවිශේෂී රොබෝවරයා හඳුන්වා දී ඇත.
“ගාබි” (Gabi) ලෙස නම් කර ඇති මෙම රොබෝවරයා සෙන්ටිමීටර 130ක උසින් යුක්ත වන අතර, සම්ප්‍රදායික අළු සහ දුඹුරු පැහැති බෞද්ධ සිවුරකින් සැරසී සිටියි. ජොග්යේ පන්සලේ භික්ෂූන් වහන්සේලා ඉදිරියේ පෙනී සිටිමින්, බුද්ධාගම වෙනුවෙන් කැපවීමට මෙම රොබෝවරයා ප්‍රතිඥා දී තිබේ. තාක්ෂණය සහ ආගමික සබඳතා නව මානයකට රැගෙන යමින් නිර්මාණය කර ඇති මෙම රොබෝවරයා, ඉදිරියේදී පන්සලට පැමිණෙන බැතිමතුන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමටත්, බෞද්ධ දර්ශනය ප්‍රචලිත කිරීමටත් යොදා ගැනීමට නියමිතය.














