ලොව ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන රයින්හෝල්ඩ් වර්ත් (Reinhold Würth) මහතා ජර්මනියේ වත්මන් ආර්ථික ගමන්මග පිළිබඳව සිය දැඩි අවධානය යොමු කරමින්, එරට “කාර්මික පරිහානියක” (Deindustrialisation spiral) අවදානමකට ලක්ව ඇති බවට අනතුරු අඟවා තිබේ.
යුරෝ නිවුස් (Euronews) වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ 1945 වසරේ සිට 2026 දක්වා ගත වූ වසර 80ක කාලය ජර්මනියේ “ස්වර්ණමය යුගය” වන බවයි. එම කාලය තුළ අඛණ්ඩ සාමය, ආර්ථික වර්ධනය සහ ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයක් රට තුළ පැවති බව ඔහු සිහිපත් කළේය. ජර්මනිය මේ වන විට සිය නිෂ්පාදන ක්ෂේත්‍රයේ පසුබෑමකට ලක්වෙමින් පවතින බවත්, එය වළක්වා ගැනීමට කඩිනම් පියවර නොගතහොත් රටේ සමෘද්ධිමත් යුගය අවසන් විය හැකි බවත් ඔහු පෙන්වා දෙයි. ෆෝබ්ස් (Forbes) සඟරාවට අනුව ඩොලර් බිලියන 41.9ක ධනයකට හිමිකම් කියන වර්ත් මහතා ජර්මනියේ සිටින ධනවත්ම පුද්ගලයන් තිදෙනාගෙන් අයෙකි. පසුගිය අප්‍රේල් මාසයේදී සිය 91 වැනි උපන්දිනය සැමරූ ඔහු, මෙරට ආර්ථිකය නැවත නිවැරදි මාවතට ගැනීමට අවශ්‍ය උපායමාර්ග පිළිබඳව සිය අදහස් ඉදිරිපත් කර තිබේ. ජර්මනිය වැනි ප්‍රබල කාර්මික රටක නිෂ්පාදන ක්‍රියාවලිය අඩාල වීම සමස්ත යුරෝපයේම ආර්ථිකයට ප්‍රබල බලපෑමක් එල්ල කළ හැකි බව විචාරකයෝ පවසති.













