ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමාට නිකුත් කර ඇති රැඳවුම් නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම අද (07) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීම ආරම්භ විය. මෙහිදී පෙත්සම පවත්වාගෙන යාමට එරෙහිව මූලික විරෝධතා ඉදිරිපත් කරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණයට දන්වා සිටියාය.
පෙත්සම්කරු වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා සඳහන් කළේ පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ සුරේෂ් සලේ මහතා ඉන්දියාවේ පුහුණු පාඨමාලාවක නිරතව සිටි බවත්, ඔහුට එරෙහිව කිසිදු සාක්ෂියක් මෙතෙක් ඉදිරිපත් වී නොමැති බවත්ය. චැනල් ෆෝ නාලිකාවට අසාද් මවුලානා කළ ප්‍රකාශ පදනම් විරහිත බවත්, ඒවා සාක්ෂිමය වටිනාකමකින් තොර බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
එමෙන්ම සිය සේවාදායකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් වාසයට නුසුදුසු කුඩා කාමරයක රඳවා තැබීමෙන් දැඩි මානසික පීඩාවකට ලක්ව සිටින බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා, ඒ සම්බන්ධයෙන් අධිකරණයේ අවධානය යොමු කළේය. මේ පිළිබඳව වගඋත්තරකරුවන් අවධානය යොමු කළ යුතු බව ප්‍රකාශ කළ අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා, වැඩිදුර කරුණු දැක්වීම් ජුනි මස 04 වැනිදා දක්වා කල් තැබීය.














