මහ භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කළ වරප්‍රසාද යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ අද (07) පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් හටගත්තේය.
ඇමරිකානු ඩොලර් ලක්ෂ 25ක මුදලක් වංචනික පිරිසක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා නොකිරීම, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව මඟහැරීම සහ කෝප් කමිටුවට කරුණු ඉදිරිපත් නොකිරීම හරහා මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බවට දයාසිරි ජයසේකර මහතා චෝදනා කළේය. සිය යෝජනාව කුණු බක්කියට දැමීම පිළිබඳව දැඩි විරෝධය පළ කළ මන්ත්‍රීවරයා, මේ සම්බන්ධයෙන් අන්තර් පාර්ලිමේන්තු සංගමයට (IPU) පැමිණිලි කරන බව ද අවධාරණය කළේය.















