ශ්‍රී ලංකාව මියන්මාරය වැනි රටවලට සමාන වෙමින් සයිබර් අපරාධකරුවන්ගේ ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත්වීමේ බරපතල තර්ජනයක් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය අනතුරු අඟවයි. මෙරට තදාසන්න ප්‍රදේශවල විශාල පිරිසකට පහසුවෙන් නවාතැන් පහසුකම් සොයාගත හැකිවීම මෙවැනි ජාත්‍යන්තර අපරාධකරුවන් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය වීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව විමර්ශන මඟින් හෙළිව තිබේ. ජාත්‍යන්තර මට්ටමේ සයිබර් ජාල ක්‍රියාත්මක කරන මෙම පිරිස් සංචාරක වීසා හෝ වෙනත් කෙටි කාලීන අවසර පත්‍ර යටතේ මෙරටට පැමිණ සුඛෝපභෝගී නිවාස සහ සංචාරක නවාතැන් කේන්ද්‍ර කර ගනිමින් සිය ජාවාරම් මෙහෙයවන බවට හඳුනාගෙන ඇත.
මෙම තත්ත්වය ඉදිරියේදී රටේ ජාතික ආරක්ෂාවට මෙන්ම මූල්‍ය පද්ධතියට ද විශාල තර්ජනයක් විය හැකි බැවින්, තම ප්‍රදේශවල නිවාස කුලියට දීමේදී හෝ නාඳුනන පිරිස් විශාල වශයෙන් නවාතැන් ගැනීම් සිදුකරන අවස්ථාවලදී ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ආරක්ෂක අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි. යම් හෙයකින් සැකකටයුතු ලෙස ලැප්ටොප් පරිගණක සහ තාක්ෂණික උපකරණ විශාල ප්‍රමාණයක් භාවිතා කරමින් රහසිගතව නවාතැන්ගෙන සිටින පිරිස් පිළිබඳ තොරතුරු වෙතොත් වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙසට ද අවධාරණය කෙරේ. මෙවැනි අපරාධ ජාල මර්දනය කිරීමට නම් මහජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය වන බව පෙන්වා දෙන ආරක්ෂක අංශ, මෙම අනතුරු ඇඟවීම නොසලකා හැරීමෙන් ඉදිරියේදී සමස්ත රටම අනතුරුදායක තත්ත්වයකට පත්විය හැකි බවට වැඩිදුරටත් අනතුරු අඟවයි.














