ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුරෝපා සංගමය වෙත ඉතාමත් තීරණාත්මක කාලසීමාවක් ලබා දී තිබේ. ඒ අනුව එළඹෙන ජූලි මස 04 වනදා වන විට දෙරට අතර ඇති කරගත් වෙළඳ ගිවිසුමේ කොන්දේසි ඉටු නොකළහොත් යුරෝපයෙන් ඇමරිකාවට ආනයනය කරන මෝටර් රථ ඇතුළු භාණ්ඩ සඳහා දැනට පවතින බදු ප්‍රතිශතය ඉතා ඉහළ මට්ටමකට දැමීමට ට්‍රම්ප් තීරණය කර ඇත. යුරෝපා කොමිසමේ සභාපතිනී උර්සුලා වොන් ඩර් ලේයන් සමඟ පැවැති දුරකථන සාකච්ඡාවකින් අනතුරුව ට්‍රම්ප් මෙම තීරණය ප්‍රකාශයට පත් කළේය.
මෙම අර්බුදයට මූලික හේතුව වී ඇත්තේ පසුගිය වසරේ ස්කොට්ලන්තයේදී දෙපාර්ශ්වය අතර ඇති කරගත් ඓතිහාසික වෙළඳ ගිවිසුම යුරෝපා සංගමය විසින් ක්‍රියාත්මක කිරීමට ප්‍රමාද කිරීමයි. ඇමරිකානු කාර්මික භාණ්ඩ සඳහා පවතින බදු ශුන්‍ය මට්ටමකට අඩු කිරීමට යුරෝපය මෙහිදී පොරොන්දු වී තිබුණද එම නීතිමය කටයුතු යුරෝපා පාර්ලිමේන්තුව තුළ ඉතා සෙමින් සිදුවීම පිළිබඳව ට්‍රම්ප් සිය දැඩි නොප්‍රසාදය පළ කර සිටියි. ඇමරිකාවේ 250 වන නිදහස් දිනය යෙදෙන ජූලි 04 වනදා මෙම ගිවිසුම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක විය යුතු බවට ඔහු අවධාරණය කරයි.
කෙසේ වෙතත් යුරෝපා පාර්ලිමේන්තුවේ වෙළඳ කමිටුව පවසන්නේ මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා තවත් යම් කාලයක් අවශ්‍ය බවයි. යුරෝපයේ රටවල් 27 ක් අතර පවතින අභ්‍යන්තර බෙදීම් සහ ඇමරිකාවට ලබා දෙන බදු සහන පිළිබඳව පවතින මතභේද මෙම ප්‍රමාදයට හේතු වී තිබේ. ඉදිරි මැයි 19 වනදා පැවැත්වෙන තීරණාත්මක සාකච්ඡා වටයේදී මේ පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇති අතර ට්‍රම්ප්ගේ මෙම “අන්තිම කැමැත්ත” හමුවේ යුරෝපීය වෙළඳපොළ තුළ විශාල කැළඹීමක් ඇති වී තිබේ.














