ශ්‍රී ලංකාව තුළ මේ වනවිට තැලසීමියා රෝගීන් 2,500කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවත්, වාර්ෂිකව අලුතින් දරුවන් 45ත් 60ත් අතර ප්‍රමාණයක් මෙම රෝගයට ගොදුරු වන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය සඳහන් කළේ, රෝගීන්ගේ පහසුව වෙනුවෙන් දැනට දිවයින පුරා තැලසීමියා ප්‍රතිකාර මධ්‍යස්ථාන 15ක් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා රෝගය වැළඳීමට පෙර වාහකයන් හඳුනාගැනීම අතිශය තීරණාත්මක බව ඇය පෙන්වා දෙයි.
තැලසීමියා රෝගය වළක්වා ගැනීම සඳහා පූර්ව සූදානමක් ලෙස සාමාන්‍ය රුධිර පරීක්ෂණයක් (FBC) මඟින් තමා රෝග වාහකයෙකු දැයි පහසුවෙන් හඳුනාගත හැකි බව වෛද්‍යවරු අවධාරණය කරති. විශේෂයෙන් විවාහයට පෙර මෙවැනි පරීක්ෂණයකට යොමු වීමෙන් අනාගත පරපුර මෙම රෝගයෙන් ආරක්ෂා කර ගැනීමට හැකියාව පවතින බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි. දරුණු තැලසීමියා තත්ත්වයන් මඟහරවා ගැනීමට ඇති එකම මඟ කලින් රෝග වාහකයන් හඳුනාගෙන නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම පමණක් බව ද වැඩිදුරටත් සඳහන් වේ.














