ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය සම්බන්ධයෙන් සුභවාදී පුවතක් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතා විසින් පාර්ලිමේන්තුවේදී අනාවරණය කරන ලදී. 2024 වසරේදී 25%ක්ව පැවති මෙරට දිළිඳුකම 2026 අප්‍රේල් මාසය වන විට 20% දක්වා පහත බැස ඇති බවත්, ඒ අනුව මිලියන 1.5ක පමණ ජනතාවක් දිළිඳුකමින් මුදාගැනීමට රජය සමත්ව ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ලෝක බැංකු වාර්තාවල දත්ත පදනම් කරගනිමින් ඔහු මේ බව අවධාරණය කළේය.
මෙම සාර්ථකත්වය තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා “ප්‍රජා ශක්ති” වැඩසටහන යටතේ 2026 වසර වෙනුවෙන් රුපියල් බිලියන 25ක දැවැන්ත මුදලක් රජය වෙන් කර තිබේ. දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් ලක්ෂ 16කට අධික පිරිසක් වෙනුවෙන් දැනට ක්‍රියාත්මක “අස්වැසුම” වැනි සහනාධාර වැඩසටහන්වලට අමතරව, ඔවුන්ව ස්ථිරවම දිළිඳුකමෙන් මුදාගැනීම සඳහා දිගුකාලීන ආර්ථික සහ සමාජයීය වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇති බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
ග්‍රාමීය මට්ටමින් ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සහ ප්‍රජා සවිබලගැන්වීම හරහා ඉදිරි වසර කිහිපය තුළ දරිද්‍රතා මට්ටම තනි ඉලක්කයක් දක්වා පහත හෙළීම රජයේ මීළඟ ඉලක්කය වී තිබේ. රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ වුවද සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කරමින් දිළිඳු ජනතාව වෙනුවෙන් රජය දක්වන මෙම මැදිහත්වීම මෙරට සංවර්ධන ගමන් මඟට විශාල පිටුවහලක් වනු ඇත.














