ලෝක බලවතුන් අතර පවතින යුදමය නොසන්සුන්තාව තවදුරටත් උග්‍ර කරමින් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරමින් තිබූ අමෙරිකානු නාවික හමුදාවට අයත් ප්‍රහාරක නෞකා තුනක් ඉලක්ක කර ඉරානය විසින් ප්‍රහාර එල්ල කර තිබේ. USS Truxtun, USS Rafael Peralta සහ USS Mason යන නෞකා මෙලෙස ඉරාන ප්‍රහාරයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ප්‍රහාරයත් සමඟ කලාපීය ආරක්ෂාව පිළිබඳව ලෝක අවධානය යළිත් දැඩි ලෙස යොමු වී ඇත.
අමෙරිකානු හමුදා ප්‍රකාශකයන්ට අනුව, ඉරානය එල්ල කළ මෙම ප්‍රහාර හමුවේ අමෙරිකානු නෞකාවලට කිසිදු හානියක් සිදුව නොමැත. කෙසේ වෙතත්, තම ආත්මාරක්ෂාව වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වූ අමෙරිකානු හමුදාව ප්‍රතිප්‍රහාර ලෙස ඉරාන හමුදා මධ්‍යස්ථාන කිහිපයක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා ඇත්තේ ඇමෙරිකානු විනාශක නෞකා සාර්ථකව එම කලාපය පසුකර ගිය බවත් ප්‍රහාරකයන්ට දැඩි හානි සිදු වූ බවත්ය.
මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ දෙරට අතර පවතින සටන් විරාම ගිවිසුම අස්ථාවර වී ඇති පසුබිමක වන අතර ඉරානය චෝදනා කරන්නේ අමෙරිකාව ප්‍රථමයෙන් සිය තෙල් නැවකට ප්‍රහාර එල්ල කළ බවයි. හෝමුස් සමුද්‍ර සන්ධිය යනු ලෝකයේ තෙල් සැපයුමෙන් පහෙන් එකක් පමණ ප්‍රවාහනය කෙරෙන තීරණාත්මක මාවතක් වන බැවින් මෙම ගැටුම් හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ද යළිත් ඉහළ ගොස් තිබේ. පවතින උණුසුම් තත්ත්වය හමුවේ දෙරටම සිය ආරක්ෂක අංශ සීරුවෙන් තබා ඇති බව වාර්තා වේ.














