රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ ‘One Registry – එකම ලියාපදිංචියක්’ වැඩසටහන යටතේ ප්‍රාදේශීය රෙජිස්ට්‍රාර් නිලධාරීන් 100 දෙනෙකු වෙත නව පරිගණක උපකරණ පිරිනැමීම ඊයේ (07) සිදු විය.
රාජ්‍ය පරිපාලන, පළත් සභා හා පළත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී මෙම උත්සවය පැවැත්විණි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් පිරිනමන ලද මෙම පරිගණක පද්ධති, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ස්ථාපිත රෙජිස්ට්‍රාර් අංශයන්හි රාජකාරි කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නිලධාරීන් වෙත ලබා දෙන ලදී.
මෙම අවස්ථාවට රෙජිස්ට්‍රාර් ජනරාල් එස්. ජලදීපන්, UNDP නිත්‍ය නියෝජිත අසුසා කුබෝටා (Azusa Kubota) සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රාජේෂ් පාණ්ඩව් (Dr. Rajesh Pandav) යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. මෙම පියවර හරහා සිවිල් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය වඩාත් වේගවත් හා විධිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















