පින්නවල ජාතික එළිමහන් සත්ව උද්‍යානය ආරම්භ කර වසර 11ක් පිරීම නිමිත්තෙන්, එහි වසන සතුන්ට ආශිර්වාද කිරීමේ විශේෂ ආගමික වැඩසටහනක් සත්ව උද්‍යාන කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කර තිබුණි.
මෙහිදී මහා සංඝරත්නය වැඩම කර පිරිත් දේශනා පවත්වා සතුන්ට ආශිර්වාද කළ අතර, එහිදී සතුන්ට පිරිත් නූල් බැඳීම ද සිදු විය. උද්‍යානයේ සිට මියගිය සතුන්ට පින් පැමිණවීම ද මෙහිදී විශේෂත්වයක් වූ අතර, උද්‍යානයේ වසන සතුන් වෙනුවෙන් පලතුරු සහ කේක්වලින් සංග්‍රහ කිරීම ද සිදු කෙරිණි.
ජාතික සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය සහ පින්නවල සත්ව උද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩිලානි අමරසිංහ මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලයේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන පවත්වා ඇත. දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් මෙම සත්ව උද්‍යානය තුළ විවිධ වර්ගයේ සතුන් රැසක් නිදහසේ වෙසෙති.
















