දිවයින පුරා විසිරී සිටින දක්ෂ පාසල් දරුවන් ක්‍රීඩාවට යොමු කරමින් ඔවුන්ගේ දක්ෂතා ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීම සඳහා රුපියල් මිලියන 450ක දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් රජය විසින් නිල වශයෙන් ආරම්භ කර තිබේ. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේදී මෙම වැඩසටහන ආරම්භ වූ අතර එහිදී පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ නව පිම්මක් සනිටුහන් විය.
මෙම සමස්ත ව්‍යාපෘතිය යටතේ පාසල් ක්‍රීඩාංගණ ප්‍රතිසංස්කරණය කිරීම සහ අවශ්‍ය නවීන ක්‍රීඩා උපකරණ ලබාදීම සිදු කිරීමට නියමිතය. එහි පළමු අදියර ක්‍රියාත්මක කරමින් රුපියල් මිලියන 25ක් වටිනා ක්‍රීඩා භාණ්ඩ කට්ටල පාසල් වෙත බෙදාදීම මෙහිදී සිදු කෙරුණු අතර අමාත්‍යවරයා විසින් සංකේතවත් ලෙස දිවයිනේ පාසල් තුනක් සඳහා එම උපකරණ පිරිනමනු ලැබීය.
පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පහසුව වෙනුවෙන් ලබාදුන් මෙම උපකරණ කට්ටල අතරට ක්‍රිකට්, රග්බි, දැල්පන්දු මෙන්ම මලල ක්‍රීඩා ඉසව් සඳහා අවශ්‍ය වන විසි කිරීමේ සහ පැනීමේ උපකරණ රැසක් ඇතුළත් වේ. මෙම ආයෝජනය හරහා ග්‍රාමීය මට්ටමේ පාසල් දරුවන්ට ද දක්ෂතා දැක්වීමට සමාන අවස්ථා හිමිවන අතර ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දෙන ක්‍රීඩක පරපුරක් බිහි කිරීම මෙහි මූලික අරමුණයි.
















