ශ්‍රී ලංකාව තුළ දියේ ගිලීමෙන් සිදුවන අනතුරු වළක්වා ජීවිතාරක්ෂාව තහවුරු කිරීම සඳහා ඒකාබද්ධ ජාතික යාන්ත්‍රණයක් සැකසීමේ මූලික සාකච්ඡාව පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පවත්වා තිබේ. වසර ගණනාවක් පුරා නිසි අවධානයක් යොමු නොවී අක්‍රියව පැවති මෙම වැදගත් ප්‍රයත්නය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න සහ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ විය.
මෙහිදී අදහස් දැක්වූ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ දියේ ගිලීමෙන් සිදුවන ජීවිත හානි හුදෙක් සමාජීය ප්‍රශ්නයක් පමණක් නොව එය ජාතික ආරක්ෂාවට මෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ කීර්තිනාමයට ද තීරණාත්මක ලෙස බලපාන කරුණක් බවයි. දේශීය හා විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ශක්තිමත් ආරක්ෂක යාන්ත්‍රණයක් කඩිනමින් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව ඔහු පෙන්වා දුන්නේය.
විශේෂයෙන්ම මෙම වැඩපිළිවෙළ යටතේ ජල ආරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය ජාතික පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීමට යෝජනා වී ඇති අතර ඒ හරහා කුඩා කල සිටම දරුවන් තුළ ජීවිතාරක්ෂක සූදානම පිළිබඳ සංස්කෘතියක් ඇති කිරීමට අපේක්ෂිතය. මීට අමතරව තරුණ තරුණියන් බලමුලු ගන්වා විශේෂිත පුහුණුවක් සහිත ස්වේච්ඡා බලකායක් නිර්මාණය කිරීම මඟින් ප්‍රජා මූලික ආරක්ෂක ජාලයක් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී තීරණය වී තිබේ.














