විදුලි උත්පාදනයේදී සිදුවූ ගල් අඟුරු හිඟය සහ ඒ ආශ්‍රිත පාඩුව පියවා ගැනීම සඳහා අධික පිරිවැයක් දරමින් ඩීසල් යොදාගැනීමට රජය කටයුතු කර ඇති බවට දැඩි විවේචන එල්ල වෙයි. ආර්ථික අපහසුතා මැද ජනතාව යන්තම් හිස ඔසවන අවස්ථාවක, මෙලෙස ඉහළ පිරිවැයක් දරමින් සිදුකරන අමූලික වියදම් අවසානයේ විදුලි ගාස්තු වැඩිවීම් හරහා යළිත් ජනතාව මතම පටවන බව පෙනෙන්නට තිබේ. මෙය ජනතාව නැගිටින සෑම අවස්ථාවකම ආණ්ඩුව එල්ල කරන මිටි පහරක් බඳු යැයි පවසන විවේචකයින්, විකල්ප බලශක්ති ප්‍රභවයන් කෙරෙහි අවධානය යොමු නොකර මෙලෙස අධික පිරිවැයක් සහිත ඩීසල් දහනය කිරීම හරහා රටේ ආර්ථිකය තවදුරටත් අගාධයකට ඇද දමන බව අවධාරණය කරයි.













