ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ පළාත් කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ හේතුවෙන් අද (09) මධ්‍යහ්නයේ සිට හෙට (10) පෙවරුව දක්වා බලපැවැත්වෙන පරිදි ‘ඇම්බර්’ වර්ණයෙන් යුත් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කිරීමට එම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු මැද සහ උතුරු පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මෙලෙස තද වැසි අපේක්ෂා කෙරේ. තද වැසි සමඟ ප්‍රබල අකුණු සහ තාවකාලික තද සුළං ඇතිවීමේ අවදානමක් පවතින බැවින්, එමගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














