තමිල්නාඩු දේශපාලන කරළියට අලුතින්ම පිවිසි සුපිරි නළු විජේ (Thalapathy Vijay) ප්‍රමුඛ ‘තමිළග වෙට්‍රි කසාගම්’ (TVK) පක්ෂය, ඉදිරි මැතිවරණයේදී ආසන 120ක බහුතර බලයක් ලබා ගනිමින් තමිල්නාඩුවේ පාලනය අත්පත් කර ගැනීමට සුවිශේෂී සැලසුම් සකස් කරමින් සිටී. ප්‍රාන්තයේ පවතින ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් විජේ සිය දේශපාලන බලය තහවුරු කර ගැනීමට සැරසෙන්නේ තරුණ පරපුරේ සහ පොදු ජනතාවගේ දැඩි ආකර්ෂණය මධ්‍යයේය.
තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ මුළු ආසන සංඛ්‍යාවෙන් බහුතරය ඉක්මවා යාම සඳහා විජේගේ පක්ෂය මේ වන විටත් බිම් මට්ටමේ සංවිධාන කටයුතු ශක්තිමත් කරමින් පවතින අතර, දූෂණයෙන් තොර සහ විනිවිදභාවයෙන් යුත් පාලනයක් පිළිබඳ පොරොන්දුව ඔහු සිය ප්‍රධාන දේශපාලන සටන් පාඨය කරගෙන තිබේ. දැනට පවතින ප්‍රධාන පක්ෂ කෙරෙහි කලකිරී සිටින ඡන්දදායකයන් තමන් වටා රොක් වනු ඇතැයි විජේ විශ්වාස කරන අතර, දකුණු ඉන්දීය දේශපාලන විචාරකයන් පවසන්නේ විජේගේ මෙම පිවිසුම තමිල්නාඩුවේ සාම්ප්‍රදායික දේශපාලන බල තුලනය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට සමත් වනු ඇති බවයි.














