තමිල්නාඩු දේශපාලනයේ දැවැන්ත පෙරළියක් සනිටුහන් කරමින් ජනප්‍රිය නළු ජෝෂප් විජේ හෙට පෙරවරුවේ ප්‍රාන්ත මහඇමති ධුරයේ දිවුරුම් දීමට නියමිතව තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව මෙම සුවිශේෂී දිවුරුම් දීමේ උත්සවය හෙට පෙරවරු 10.00ට නේරු ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. පසුගියදා නිමාවට පත්වූ ප්‍රාන්ත මැතිවරණයේදී විජේගේ නායකත්වයෙන් යුත් ‘තමිලග වෙට්ට්‍රි කළගම්’ පක්ෂය ආසන 108ක් දිනාගත් අතර, රජයක් පිහිටුවීමට අවශ්‍ය වූ බහුතරය ලබාගැනීම සඳහා ඉන්දීය කොංග්‍රසය සහ වාමාංශික පක්ෂවල සහාය ඔහු වෙත හිමිව තිබේ.
ඒ අනුව මේ වන විට මන්ත්‍රීවරුන් 120කගේ පූර්ණ සහාය විජේ වෙත හිමිව ඇති බව තමිල්නාඩු ආණ්ඩුකාරවරයා වෙත නිල වශයෙන් දැනුම් දී ඇති අතර, ඉන් අනතුරුව නව රජය පිහිටුවීම සඳහා ඔහුට ආරාධනා කර තිබේ. හෙට දින පැවැත්වෙන මෙම ඓතිහාසික අවස්ථාවේදී තලපති විජේ සමඟ තවත් මන්ත්‍රීවරුන් නව දෙනෙකු අමාත්‍ය ධුරවල දිවුරුම් දීමට නියමිත බව ද වාර්තා වේ. සිනමා තිරයෙන් දේශපාලන කරළියට පිවිසි විජේගේ මෙම නව ගමන පිළිබඳව ඉන්දියාවේ මෙන්ම ලොව පුරා වසන ඔහුගේ රසික ජනතාව දැඩි උනන්දුවකින් පසුවෙති.














