ඕස්ට්‍රේලියානු දේශපාලන කරළියේ දැවැන්ත වෙනසක් සනිටුහන් කරමින්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලන දර්ශනයට සමාන ප්‍රතිපත්ති අනුගමනය කරන දකුණේ මතධාරී ‘වන් නේෂන්’ (One Nation) පක්ෂය එරට පහළ මන්ත්‍රී මණ්ඩලයේ සිය ප්‍රථම අසුන ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ. සිඩ්නි නුවරින් දකුණු දෙසින් පිහිටි ෆැරර් (Farrer) ආසනය සඳහා පැවැති අතුරු මැතිවරණයෙන් ගොවිපළ හිමිකරුවෙකු වන ඩේවිඩ් ෆාර්ලි ලබාගත් මෙම ජයග්‍රහණයත් සමඟ, එරට දැවැන්ත සංක්‍රමණික ප්‍රවාහය නතර කිරීමට දැඩිව පෙනී සිටින බව එම පක්ෂය අවධාරණය කරයි. මෙම ජයග්‍රහණය වත්මන් අගමැති ඇන්තනි ඇල්බනීස්ගේ රජයේ බහුතරයට බලපෑමක් එල්ල නොකළද, ප්‍රධාන පෙළේ දේශපාලන කණ්ඩායම් අභිබවා වන් නේෂන් පක්ෂය ජනතාව අතර සීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතින බව මින් පැහැදිලි වේ.
පක්ෂ නායිකා සෙනෙට් මන්ත්‍රී පෝලීන් හැන්සන් ප්‍රකාශ කරන්නේ, ඕස්ට්‍රේලියානු වැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් තමන් පාර්ලිමේන්තුව තුළ නොබියව හඬ නගන බවයි. විශේෂයෙන්ම ඉහළ යන ජීවන වියදම පාලනය කිරීම, ‘නෙට් සීරෝ’ (Net-zero) වැනි පාරිසරික ඉලක්ක අත්හැරීම සහ මහජනතාව අතර දැඩි විරෝධයක් පවතින මහා පරිමාණ සංක්‍රමණික ගමනාගමනය නතර කිරීම සිය පක්ෂයේ ප්‍රධාන අරමුණු බව ඇය අවධාරණය කළාය. ඕස්ට්‍රේලියාවේ වෙසෙන ජනගහනයෙන් අඩක් පමණ විදේශයන්හි උපත ලැබූවන් හෝ එවැනි මව්පියන්ගෙන් පැවත එන්නන් වන පසුබිමක, පසුගිය වසරේදී එරට ප්‍රධාන නගර රැසක සංක්‍රමණික විරෝධී උද්ඝෝෂණ ද පැවැත්විණි. ඒ අනුව ඉදිරි මැතිවරණවලදී මෙම දකුණේ මතධාරී බලවේගය ඕස්ට්‍රේලියානු දේශපාලනයට ප්‍රබල බලපෑමක් එල්ල කරනු ඇතැයි දේශපාලන විචාරකයෝ අනාවැකි පළ කරති.














