කෘත්‍රිම බුද්ධිය (AI) හුදු තාක්ෂණික මෙවලමක් ලෙස පමණක් නොව, ආචාරධර්මීය සහ ප්‍රතිපත්තිමය පදනමක් මත මෙරට උසස් අධ්‍යාපනයට ඒකාබද්ධ කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ඇය මේ බව ප්‍රකාශ කළේ කොළඹ විශ්වවිද්‍යාලයේදී පැවති “රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා වූ AI ප්‍රතිපත්ති රාමුව” එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.
මෙම ප්‍රතිපත්ති රාමුව හරහා අධ්‍යාපන පද්ධතියේ පවතින අසමානතාවන් අවම කිරීමටත්, විශේෂයෙන්ම ආබාධ සහිත සිසුන්ගේ ඉගෙනුම් කටයුතු සහ භාෂාමය ගැටලු විසඳීම සඳහා තාක්ෂණය ඵලදායී ලෙස යොදා ගැනීමටත් රජය අපේක්ෂා කරයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ අමෙරිකානු තානාපති කාර්යාලය එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන මඟින්, නවෝත්පාදනය සහ සමාජ වගකීම අතර මනා සමබරතාවයක් ඇති කිරීම අග්‍රාමාත්‍යවරියගේ මූලික අවධාරණය විය.














