දෙනියාය අධ්‍යාපන කලාපයේ පාසල් දරුවන් අතර පැතිර යන උණ රෝගී තත්ත්වය පාලනය කිරීම සඳහා හෙට (11) සහ අනිද්දා (12) යන දෙදින තුළ තම දරුවන් උපකාරක පන්ති සඳහා යොමු කිරීමෙන් වළකින ලෙස සෞඛ්‍ය බලධාරීන් දෙමාපියන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
උණ රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීමේ පියවරක් ලෙස දෙනියාය කලාපයේ පාසල් හතරක් වන දෙනියාය මධ්‍ය විද්‍යාලය, රාජපක්ෂ මහා විද්‍යාලය, ශාන්ත මැතිව් විද්‍යාලය සහ පල්ලේගම සිද්ධාර්ථ විද්‍යාලය තවදුරටත් වසා තැබීමට බලධාරීන් තීරණය කර ඇත. මේ අතර, රෝගී තත්ත්වය පිළිබඳ විද්‍යාත්මක පරීක්ෂණ පැවැත්වීම සඳහා කොළඹින් පැමිණි විශේෂ වෛද්‍ය කණ්ඩායමක් මේ වන විටත් සිය කටයුතු ආරම්භ කර තිබේ.
පවතින සෞඛ්‍ය අවදානම සැලකිල්ලට ගෙන, දරුවන් සමූහ ලෙස ගැවසෙන ස්ථානවලට යැවීමෙන් වළක්වා රෝගය පාලනය කිරීමට සහය වන ලෙස බලධාරීන් වැඩිදුරටත් ඉල්ලා සිටී.













