ඓතිහාසික මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාර පරිශ්‍රයේ සංරක්ෂණය කරන ලද දෙමහල් පොත්ගුල් ගොඩනැගිල්ල කෞතුකාගාරයක් ලෙස විවෘත කිරීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) සිදුකෙරිණි.
මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් රුපියල් මිලියන 4කට අධික පිරිවැයක් දරා සංරක්ෂණය කරන ලද මෙම ඓතිහාසික ගොඩනැගිල්ල, එහි තිබූ වටිනා පුරාවස්තු තැන්පත් කර මහජනතාවට ප්‍රදර්ශනය කිරීම සඳහා මෙලෙස කෞතුකාගාරයක් ලෙස ප්‍රතිසංස්කරණය කර ඇත. 18 වන සියවසට අයත් මහනුවර යුගයේ සුවිශේෂී බෞද්ධ උරුමයන් අනාගත පරපුර උදෙසා සුරක්ෂිත කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය මෙන්ම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් වික්‍රමසිංහ සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.














