තමිල්නාඩුවේ නව මහ ඇමතිවරයා ලෙස දිවුරුම් දුන් ‘තමිළග වෙට්ට්‍රි කසාගම්’ (TVK) පක්ෂයේ නායක සී. ජෝසප් විජේ මහතා, සිය පාලනයේ මංගල නියෝගය ලෙස ප්‍රාන්ත වැසියන් සඳහා විදුලි ඒකක 200ක් නොමිලේ ලබා දීමේ පත්‍රිකාවට අත්සන් තබා තිබේ. වසර 60කට පමණ පසු DMK හෝ AIADMK නොවන පක්ෂයක් තමිල්නාඩුවේ රජයක් පිහිටවූ පළමු අවස්ථාව මෙය වන අතර, චෙන්නායි හිදී පැවැති උත්කර්ෂවත් උත්සවයකදී ඔහු මෙලෙස මහ ඇමති ධුරයේ දිවුරුම් දුන්නේය.
නොමිලේ විදුලිය ලබා දීමට අමතරව, නව මහ ඇමතිවරයා විසින් ප්‍රාන්තයේ ප්‍රධාන ගැටලු කිහිපයක් ඉලක්ක කර ගනිමින් තීරණාත්මක පියවර රැසක් ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවීමටත්, කාන්තා ආරක්ෂාව තහවුරු කිරීමට විශේෂ බලකායක් සහ හදිසි උපකාරක සේවාවක් හඳුන්වා දීමටත් පියවර ගෙන ඇත. මීට අමතරව අධ්‍යාපනය, සෞඛ්‍යය, ජලය මෙන්ම ගොවි සහ ධීවර සුබසාධනය වැනි මූලික පහසුකම් කෙරෙහි පූර්ණ අවධානය යොමු කිරීමට ද ඔහු තීරණය කර තිබේ.
තමා රාජකීය පවුලකින් පැවත එන්නෙකු නොව සහායක අධ්‍යක්ෂවරයෙකුගේ පුතෙකු ලෙස දුප්පත්කම හොඳින් හඳුනන බව මහ ඇමති විජේ සිය ප්‍රථම දේශනයේදී හැඟුම්බරව ප්‍රකාශ කළේය. ප්‍රාන්තය දැනට රුපියල් ලක්ෂ දහයක ණය බරකින් යුක්ත වුවද, ජනතා මුදල් අවභාවිත කිරීමට ඉඩ නොතබන බවට ඔහු සහතික විය. කොංග්‍රස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක සහය ඇතිව පිහිටුවන ලද මෙම නව රජය, මැයි 13 වැනිදාට පෙර ප්‍රාන්ත සභාවේ සිය බහුතරය ඔප්පු කිරීමට නියමිතය.











