දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ පදිංචි කේසර සහ කියාරා යන සිංහ යුවළට දාව උපත ලැබූ සිංහ පැටවුන් දෙදෙනා මාස තුනක ආරක්ෂිත කාලයකින් පසුව දැන් මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබේ. 2025 දෙසැම්බර් 24 වැනිදා උපත ලැබූ මෙම පැටවුන් දෙදෙනා මෙතෙක් කල් පශු වෛද්‍යවරුන්ගේ සහ සත්ත්ව පාලකවරුන්ගේ දැඩි අධීක්ෂණය යටතේ රැකබලා ගත් අතර දැන් ඔවුන් ඉතා නිරෝගී සුවයෙන් පසුවන බව සත්ත්වෝද්‍යාන බලධාරීන් පවසයි.
මෙම අලුත් සාමාජිකයන් දෙදෙනා බැලීමට එන නරඹන්නන් සඳහා දිනපතා උදෑසන 10.00 සිට 11.30 දක්වා වූ සීමිත කාලසීමාවක් වෙන් කර ඇති බව දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත සමරසේකර මහතා සඳහන් කළේය. පැටවුන්ගේ ආරක්ෂාව සහ ඔවුන්ට මවගෙන් ලැබෙන පෝෂණයට බාධා නොවන පරිදි මෙම සීමිත කාලය වෙන් කර ඇති අතර එම කාලය තුළ පැමිණෙන ඕනෑම අයෙකුට මෙම සිඟිති සිංහ පැටවුන්ගේ දඟකාරකම් දැකබලා ගැනීමට අවස්ථාව හිමි වේ.
අලුත උපන් පැටවුන් මාස තුනක් යනතුරු මව් කිරෙන් පමණක් පෝෂණය වන බැවින් එම කාලය තුළ ඔවුන්ව බාහිර පරිසරයෙන් වෙන් කර ආරක්ෂිතව තබා ගැනීමට සත්ත්වෝද්‍යාන පාලනාධිකාරිය කටයුතු කර තිබුණි. දැන් එම නිරීක්ෂණ කාලය සාර්ථකව අවසන් වී ඇති බැවින් දෙහිවල සත්ත්වෝද්‍යානයට යන ඔබට මෙම පුංචි පැටවුන් දෙදෙනා දැකබලා ගැනීමටත් ඔවුන් සමඟ සුන්දර මතකයන් එකතු කර ගැනීමටත් දැන් හැකියාව පවතී.














