වර්තමාන විපක්ෂය ප්‍රතිපත්ති විරහිත, අදබාල දේශපාලන ගමනක නිරත වෙමින් සිටින බවත් ඔවුන්ගේ මෙම ගමන ඉතා කෙටි එකක් වනු ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි. විපක්ෂය දිනපතා රජයට එරෙහිව පතුරුවන අසත්‍ය ප්‍රචාර ඉතා ඉක්මනින් සමාජය හමුවේ අනාවරණය වෙමින් පවතින බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, “අද කියන බොරුව හෙට එළි වෙනවා, හෙට කියන බොරුව අනිද්දා එළි වෙනවා. ඒ එළි වෙනකොට විපක්ෂයේ රෙදි ගැලවෙනවා” යැයි දැඩිව ප්‍රකාශ කර සිටියේය.
ඉතිහාසයේ සිටි විපක්ෂයන් ප්‍රතිපත්තිමය පදනමක සිට දේශපාලනය කළ ද, වත්මන් විපක්ෂය හුදෙක් රජයට පහර දීමේ අරමුණින් ඕනෑම පහත් ක්‍රියාවක නිරත වන බවට ඔහු චෝදනා කළේය. විපක්ෂය මේ වන විට ස්වයං දේශපාලන විනාශයකට ඇද වැටී ඇති බවත්, ඇතැම් සිදුවීම් නීතිමය ක්‍රියාවලීන්ට අදාළ බැවින් ඒ පිළිබඳව ප්‍රකාශ නිකුත් කිරීමෙන් තමන් වැළකී සිටින බවත් හේවගේ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
















