මෑතකදී සිදුවූ විදුලි ගාස්තු සංශෝධනයත් සමඟ සන්නිවේදන මධ්‍යස්ථාන පවත්වාගෙන යාමේ පිරිවැය ඉහළ යාම නිසා ෆොටෝකොපි සේවා ගාස්තු ඉහළ නැංවීමට තීරණය කළ බව සමස්ත ලංකා සන්නිවේදන හිමිකරුවන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා මහතා සඳහන් කරන්නේ ව්‍යාපාරික පිරිවැය දරාගත නොහැකි මට්ටමට පැමිණීම හේතුවෙන් එක් ෆොටෝකොපියක මිල රුපියල් 2ත් 5ත් අතර මුදලකින් ඉහළ නැංවීමට සිදුව ඇති බවයි. මීට පෙර අවස්ථාවලදී විදුලි ගාස්තු ඉහළ ගියද පාරිභෝගිකයා වෙනුවෙන් මිල වැඩි නොකළ බව පෙන්වා දෙන ඒ මහතා, වත්මන් විදුලි ගාස්තු ඉහළ යාමට අමතරව කඩදාසි සහ ටෝනර් ඇතුළු අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම ද මෙම තීරණයට බලපා ඇති බව අවධාරණය කළේය. විදුලි බල මණ්ඩලයේ පවතින ගැටලු හේතුවෙන් ජනතාව මත මෙලෙස බර පැටවීම සම්බන්ධයෙන් ඔහු සිය කනගාටුව පළ කර සිටියි.














