මස්කෙළිය ප්‍රාදේශීය සභාව යටතේ පාලනය වන ආයුර්වේද බෙහෙත් ශාලාව වෛද්‍යවරුන් නොමැති වීම හේතුවෙන් දැනට සතියක පමණ කාලයක සිට වසා දමා ඇති බව වාර්තා වේ. මීට පෙර එහි සේවය කළ වෛද්‍යවරියන් දෙදෙනා වසර 6ක සේවා කාලය අවසන් කර වෙනත් රෝහල් වෙත ස්ථාන මාරුවීම් ලබා යාමෙන් පසු, එම පුරප්පාඩු සඳහා අනුප්‍රාප්තික වෛද්‍යවරුන් මෙතෙක් පත් කර නොමැති වීම මෙම තත්ත්වයට හේතු වී ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ සභාපති කන්දයියා රාජ්කුමාර් මහතා සඳහන් කළේ, නව වෛද්‍යවරුන් ලබා දෙන ලෙස ආයුර්වේද කොමසාරිස්වරයාගෙන් ලිඛිතව කිහිපවරක් ඉල්ලා සිටියද මෙතෙක් ඊට ප්‍රතිචාර ලැබී නොමැති බවයි. ආයුර්වේද ප්‍රතිකාර ලබා ගැනීම සඳහා දිනපතා පැමිණෙන ප්‍රදේශයේ විශාල රෝගීන් සංඛ්‍යාවක් මෙම තත්ත්වය හමුවේ දැඩි අපහසුතාවයට පත්ව සිටින අතර, වහාම ක්‍රියාත්මක වන පරිදි අවම වශයෙන් එක් වෛද්‍යවරයෙකු හෝ අනුයුක්ත කිරීමට බලධාරීන් පියවර ගත යුතු බව ජනතාව ඉල්ලා සිටිති.














