ඓතිහාසික මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාර පරිශ්‍රයේ සංරක්ෂණය කරන ලද දෙමහල් පොත්ගුල් ගොඩනැඟිල්ල, කෞතුකාගාරයක් ලෙස පසුගියදා (9) විවෘත විය. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් රුපියල් මිලියන 4කට අධික පිරිවැයක් දරා මෙම ගොඩනැඟිල්ල සංරක්ෂණය කර ඇති අතර, විහාරස්ථානයේ තිබූ වටිනා පුරාවස්තු තැන්පත් කිරීම සඳහා මෙය භාවිත කෙරේ. 18 වැනි සියවසට එනම් මහනුවර යුගයට අයත් මෙම විහාරස්ථානය සුවිශේෂී බෞද්ධ උරුමයන් රැසකින් සමන්විත ස්ථානයකි.
අනාගත පරපුර උදෙසා මෙම ඓතිහාසික උරුමයන් සුරක්ෂිත කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.














