ටයර් නොමැතිවීම හේතුවෙන් කතරගම ඩිපෝවට අයත් දුර ගමන් සේවා බස් රථ 10ක් ධාවනයෙන් ඉවත් කර නතර කර තැබීමට සිදුව ඇති බව එම ඩිපෝවේ කළමනාකරණ නිලධාරියෙක් ප්‍රකාශ කරයි. මෙලෙස බස් රථ ධාවනය නතර වීම හේතුවෙන් ඩිපෝවට දිනකට රුපියල් ලක්ෂ පහකට ආසන්න පාඩුවක් සිදුවන බව වාර්තා වේ.
යාපනය – කතරගම, කොළඹ – කතරගම සහ නුවර – කතරගම ඇතුළු ප්‍රධාන දුර ගමන් සේවා මෙන්ම ග්‍රාමීය සේවා බස් රථ ද මේ වන විට අඩපණ වී තිබේ. මීට පෙර ග්‍රාමීය බස් රථවල ටයර් ගලවා දුර ගමන් බස් රථවලට යොදා ධාවනය කළ ද, දැන් එම විකල්පය ද අවසන් වී ඇති බව සඳහන් වේ. ටයර් මිලදී ගන්නා ආයතන සමඟ පවතින ගැටලු සහ මිල ඉහළ යාම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇත.
බස් රථ ධාවනය නතර වීම නිසා ආදායම් අහිමි වීමෙන් ඩිපෝ සේවකයින්ගේ වැටුප් ගෙවීම ද අර්බුදයකට ලක්ව තිබේ. මේ මස 8 වනදා ගෙවීමට නියමිතව තිබූ වැටුප් මෙතෙක් ලබා දී නොමැති බවත්, කතරගම සහ අම්බලන්තොට වැනි ඩිපෝවල සේවකයින් මේ හේතුවෙන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බවත් වාර්තා වේ. ඉදිරි දින කිහිපය තුළ මෙම ගැටලුව තවදුරටත් උග්‍ර වීමේ අවදානමක් පවතින බව දකුණු පළාත් මගී ප්‍රවාහන කළමනාකාරීත්වය පෙන්වා දෙයි.














