නුවරඑළිය මහ නගර සභාව මගින් පාලනය වන නුවරඑළිය සතිපොළ භූමිය මේ වන විට අතිශය අප්‍රසන්න සහ සෞඛ්‍යයට අහිතකර තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වේ. සතිපොළ භූමියේ පිහිටි පොදු වැසිකිළිය උතුරා යාම හේතුවෙන් එම අපජලය මුළු පොළ භූමිය පුරාම ගලා යන බවට වෙළෙන්දෝ සහ පාරිභෝගිකයෝ චෝදනා කරති.
මෙම ගැටලුව දීර්ඝ කාලයක සිට පවතින බවත්, දේශපාලනඥයන් විවිධ පොරොන්දු ලබා දෙමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වුවද මෙතෙක් කිසිදු ස්ථිර විසඳුමක් ලැබී නොමැති බවත් වෙළෙන්දෝ පවසති. නුවරඑළිය මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරීන් පවසන පරිදි, සතිපොළ නවීකරණය සඳහා මහා සභාවෙන් හත් වතාවක්ම ඉල්ලීම් කර ඇතත් බලධාරීන් ඒ පිළිබඳව කිසිදු උනන්දුවක් දක්වා නොමැත.
පවතින තත්ත්වය පිළිබඳව නුවරඑළිය නගරාධිපති උපාලි වනිගසේකර මහතාගෙන් විමසීමට උත්සාහ කළ ද, පක්ෂය මගින් මාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දීම තහනම් කර ඇති බව පවසමින් ඔහු ඊට ප්‍රතිචාර දැක්වීම මගහැර තිබේ. මේ හේතුවෙන් දහස් සංඛ්‍යාත ජනතාවක් බෝවන රෝග අවදානමකට මුහුණ දෙමින් සතිපොළ පරිහරණය කිරීමට සිදුව ඇත.














