නියමිත පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ මාවනැල්ල, හිඟුල ප්‍රදේශයේ වෙළඳසැලකට එරෙහිව නීතිමය පියවර ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර තිබෙනවා. රුපියල් 1,300ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇති කිලෝග්‍රෑම් 5ක කීරි සම්බා සහල් පැකැට්ටුවක් රුපියල් 1,950ක මිලකට අලෙවි කිරීම සම්බන්ධයෙන් මෙම වෙළඳසැලට චෝදනා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව අදාළ වෙළෙන්දා සහල් කිලෝග්‍රෑමයකින් රුපියල් 130ක අසාධාරණ ලාභයක් ලබමින් පාරිභෝගිකයින් සූරාකෑමට ලක් කර ඇති බව නිලධාරීන් පෙන්වා දෙනවා.
කෑගල්ල දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (11) සිදුකළ වැටලීමකදී මෙම අක්‍රමිකතාව අනාවරණය කරගෙන තිබෙනවා. අත්‍යාවශ්‍ය භාණ්ඩ පාලන මිල ඉක්මවා අලෙවි කරමින් පාරිභෝගිකයින් පීඩාවට පත් කරන වෙළඳුන් සොයා අඛණ්ඩව වැටලීම් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධාරණය කරනවා. සහල් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී මුද්‍රිත උපරිම සිල්ලර මිල පිළිබඳව සැමවිටම විමසිලිමත් වන ලෙසත්, නියමිත මිලට වඩා වැඩි මුදලක් අය කරන්නේ නම් වහාම 1977 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ දැනුම් දෙන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.














