පසුගිය සතියේ සිඩ්නි නුවර බටහිර ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කරමින් අහසට වෙඩි තැබූ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන චෝදනා ගොනු කිරීමට නිව් සවුත් වේල්ස් පොලිසිය පියවර ගෙන තිබේ.
පසුගිය මැයි 8 වැනිදා රාත්‍රී 9:20ට පමණ දකුණු වෙන්ට්වර්ත්විල් ප්‍රදේශයේදී රථවාහන වැරැද්දක් සම්බන්ධයෙන් නතර කිරීමට උත්සාහ කළ නිසාන් ‘යුට්’ (Nissan utility) රථයක් පොලිස් අණ නොතකා පලා ගොස් තිබේ. මේ සමඟ ආරම්භ වූ පොලිස් ලුහුබැඳීම (Pursuit) අතරතුරදී ගිල්ඩ්ෆෝර්ඩ් ප්‍රදේශයේදී වෙනත් වාහනයක ද ගැටී ඇති මෙම රථය, පසුව රොබට්සන් පාර අසලදී නතර කර ඇත. එහිදී රියදුරු වාහනයෙන් බැස පලා යන අතරතුර අහසට වෙඩි මුර 3ක් හෝ 4ක් තබා ඇති බව වාර්තා වේ.
එදින පොලිස් විශේෂ ඒකක සහ හෙලිකොප්ටර් යානා යොදා සිදුකළ මෙහෙයුමේදී සැකකරු හමු නොවූ අතර, අද (මැයි 11) පස්වරුවේ ඕබර්න් (Auburn) පොලිස් ස්ථානයට භාර වීමෙන් අනතුරුව 39 හැවිරිදි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනුණි. ඔහුට එරෙහිව පොදු ස්ථානයක ගිනි අවි පරිහරණය කිරීම, පොලිස් ලුහුබැඳීමකින් පලා යාම, බලපත්‍ර නොමැතිව රිය පැදවීම සහ තහනම් නියෝග උල්ලංඝනය කරමින් පතොරම් ළඟ තබා ගැනීම ඇතුළු චෝදනා 10කට අධික සංඛ්‍යාවක් එල්ල කර තිබේ. සැකකරුට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහු හෙට (මැයි 12) පැරමැටා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














