ගොවිජනතාව මුහුණ දෙන විවිධ ගැටලුවලට සෘජු සහ තිරසාර විසඳුම් ලබා දීමේ අරමුණින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ සංකල්පයක් මත “ගොවිජන සභාව” වැඩසටහන් මාලාව ආරම්භ කර තිබේ. ‘ගොවිජන බලය සමඟ පෙරට ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා ගොවියාගේ හෙට දවස’ යන තේමාව යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ මූලික පරමාර්ථය වන්නේ නිලධාරීන් සහ අමාත්‍යවරුන් ගොවිජනතාව අසලටම ගොස් ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කර කඩිනම් විසඳුම් ලබා දීමයි.
වර්තමාන රජය බලයට පත්ව ගතවූ වසර එකහමාරක කාලය තුළ ක්‍රියාත්මක කළ කෘෂිකාර්මික ප්‍රතිපත්ති ග්‍රාමීය මට්ටමින් සාර්ථක වී ඇති ආකාරය විමසා බැලීම ද මෙහිදී සිදුවේ. සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ මැදිහත්වීමෙන් දිවයින පුරා ප්‍රාදේශීය මට්ටමින් ගොවිජන සභා දහසක් (1000) පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, මෙහි සමාරම්භක වැඩසටහන් මිනිපේ සහ මොරගහකන්ද ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් සාර්ථකව පවත්වා ඇත. තමන්ගේ ප්‍රදේශවල ද මෙවැනි සභා පැවැත්වීමට අවශ්‍ය ගොවි සංවිධානවලට සමස්ත ලංකා ගොවිජන සම්මේලනය හරහා ඒ සඳහා ඉල්ලීම් කළ හැකි බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.














